Tuesday 19th of May 2026

English Tamil
Advertiesment


ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කමිටුව නීතිමයද නොඑසේ නම් සදාචාරාත්මකද..?


2026-05-19 1251

 

බෞද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත එල්ල වන “Born Again” බලපෑම ප්‍රබලයි

 

කණ්ඩායම අභ්‍යන්තරයේ ඇති “Born Again” බලපෑම් ගැන ක්‍රීඩකයෝ බියෙන් පසු වෙති

 

ශ්‍රී ලංකා ක්‍රිකට් - ජනපතිගේ ආරාධනයෙන් දෙවියන් වඩියි..!

 

ඉරාන් වික්‍රමරත්නගේ සළුපට අහසට -  දෙවියන් වහන්සේ බේරා ගනී ද..?  

 

සුදුස්සෙකු තෝරා ගැනීමට නොහැකි දේශපාලන පද්ධතිය බංකොලොත්භාවය 

 

 

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයේ දීර්ඝ කාලීනව ගොඩනැගී ආව අර්බුදය 2026 අප්‍රේල් 29 වැනිදා නව මට්ටමකට ගොස් තිබුණි. එදා ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති ෂම්මි සිල්වා සහ ඔහුගේ විධායක මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නව දෙනෙකුගෙන් යුතු “පරිවර්තන කමිටුවක්” පත් කිරීමෙන් ක්‍රීඩා පරිපාලනයේ අනාගතය පිළිබඳ ගැඹුරු සංවාදයක් රට පුරා ආරම්භ විය. එහි සභාපති වශයෙන් පත් වුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා වන අතර කුමාර් සංගක්කාර සහ රොෂාන් මහානාම වැනි ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ ක්‍රීඩකයින්ද මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස පත් වීම  නිසා, පාලන අර්බුදය තව දුරටත් ජනතා අවධානයට ලක් විය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ, අතුරු කමිටුවට මාස තුනක කාලයක් ලබා දී ජූලි මාසයේදී නව මැතිවරණයක් පැවැත්වීමට උපදෙස් ලබා දීමෙන්, තාවකාලික පාලනයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබුණු බව පෙන්වා දුන්න රට අභ්‍යන්තරයේ මේ ක්‍රියාවලිය නීත්‍යානුකුල සහ සදාචාරාත්මකද යන්න පිළිබඳ ගැඹුරු ප්‍රශ්න මතුවී විය.

 
ප්‍රශ්නයේ මූලය - අතුරු පාලනය නීතිමයද නැත හොත් සදාචාරාත්මකද..? 

 

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා ප්‍රතිඵල, සමාජ මාධ්‍යයේ දැඩි විවේචන, සහ රජයේ පීඩනය ශ්‍රී ලංකා ක්‍රිකට්  පාලන මණ්ඩලය අස්වීමට ප්‍රධාන හේතු විය. ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කුසලතාව ඔවුන්ගේ වගකීමක් වුවත්, ඔවුන්ට නිසි පුහුණුව, වෘත්තීය පරිසරය, තේරීම් ක්‍රමවේද, සහ දීර්ඝ කාලීන සැලසුම් සකස් කිරීම පරිපාලනයේ වගකීම බව කණ්ඩායම් කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් පෙන්වති. දකුණු ආසියානු ක්‍රීඩා ක්ෂේත්‍රයේ මුදල් බලපෑම්, තරඟ පාවාදීමේ ජාල, සහ අසත්‍ය බලවේග ගැන දීර්ඝ කාලීන චෝදනා පවතින බැවින්, සංවිධාන ප්‍රතිසංස්කරණය අත්‍යවශ්‍ය බවත් ඔවුහූ අවධාරණය කරති.

එහෙත් අතුරු පාලන කමිටුව පිළිබඳ විවාදය තවත් අතකට හැර වූයේ එහි සභාපති එරාන් වික්‍රමරත්න “Born Again” ආගමික නායකයෙකු ලෙස හඳුන්වමිනි. 2023 දී පත් වූ කුසලා සරෝජිනී කමිටු වාර්තාව මගින්, “Born Again” කණ්ඩායම් කිහිපයක් බෞද්ධ ක්‍රීඩකයින් වෙත බලපෑම් කිරීමට උත්සාහ කළ බවත්, එක් ක්‍රීඩකයෙකු එම දෘෂ්ටිවාදය අනුගමනය කිරීමට පටන් ගත් බවත් සඳහන් කර තිබුණි. කෙසේ වෙතත්, නිල තේරීම් ක්‍රියාවලියට සෘජු බලපෑමක් තිබූ බවට සාක්ෂි නොමැති බව කමිටුව නිගමනය කළේය. එහෙත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සිය වෘත්තීය ජීවිතයට හානි වේ යැයි බියෙන් කණ්ඩායමේ ආගමික බලපෑම් ගැන නිදහසේ කතා කිරීමට පසුබට වන බව වාර්තාව අවධාරණය කළේය. “කණ්ඩායමේ ඇතුළත ආගමික බලපෑම් ගැන ක්‍රීඩකයින් බියෙන් කතා නොකරන බව වාර්තාව කියයි.”

අතුරු කමිටුවේ සාමාජිකයන් දෙදෙනෙකු වන සිදත් වෙත්තමුනි සහ නීතිඥ දිනාල් පිලිප්ස් දැනටමත් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ක්‍රීඩා අමාත්‍යංශයට විරුද්ධව ගොනු කර ඇති CA 460/2020 නඩුවේ පෙත්සම්කාරයින්ය. මෙම නඩුව 2026 ජූලි මාසයේ නැවත කැඳවීමට නියමිත අතර, එවැනි නඩුකරුවන්ටම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය භාර දීම සදාචාරාත්මකද යන්න පිළිබඳ දැඩි විවාදයක් මතුවී ඇත. නීතිඥයන් කිහිප දෙනෙකු පෙන්වා දෙන්නේ, මේ තත්ත්වය “බැඳියාවන් අතර ගැටලු” (Conflict Of Interest) මතු කරන අතර එම තත්ත්වය පාලන පද්ධතියේ විශ්වාසය සහ පාරදෘශ්‍යතාවට ප්‍රබල බලපෑමක් එල්ල කරන බවය.

 
නඩුකාරවරුන්ටම පාලනය භාර දීමෙන් ජනතාව අතර විශ්වාසය කඩා වැටේ 

 

මෙම තත්ත්වය දේශපාලන කථිකාවකට පත් වීමට හේතු වූයේ, අමාත්‍යවරයාගේ තේරීම් ක්‍රියාවලිය පිළිබඳ පැන නැගී ඇති ප්‍රශ්නයක් නිසාය. සමාජ මාධ්‍යයේ සහ විශ්ලේෂකයන් අතර පවතින ප්‍රධාන අදහස වන්නේ, රජයට විරුද්ධ පක්ෂයෙන් පමණක් නොව, සිය පක්ෂයෙන්වත් සුදුසු පුද්ගලයෙකු සොයා ගැනීමට නොහැකි තරම් දේශපාලන පද්ධතිය බංකොලොත් වී ඇති බවය. එම අදහස මේ වන විට සමාජ කථිකාවක් බවට පත්වී ඇත.

ජාත්‍යන්තරය ක්‍රිකට් කවුන්සිලය විසින් අතුරු කමිටුව තාවකාලිකව පිළිගැනීම, මාස තුනක කාලසීමාවක් ලබාදීම, සහ ජූලි මාසයේදී නව මැතිවරණයක් පැවැත්වීමට උපදෙස් දීම, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයට ජාත්‍යන්තර මට්ටමේ විශ්වාසය නැවත ගොඩනැගීමට අවශ්‍ය පියවරක් ලෙස සැලකේ. එහෙත් රට අභ්‍යන්තරයේ පවතින විශ්වාස අර්බුදය තවමත් විසඳී නැත.

ජූලි මාසයේදී පැවැත්වීමට නියමිත නව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයේ අනාගතය තීරණය කරන මොහොත වනු ඇත. නීතිමය ගැටලු, ආගමික චෝදනා, දේශපාලන තීරණ, සහ ජාත්‍යන්තරය ක්‍රිකට් කවුන්සිලයේ  මැදිහත්වීම අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයේ විශ්වාසය නැවත ගොඩනැගීම සරල කාර්යයක් නොවනු ඇත. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් නැවත ගොඩනැගීම අත්‍යවශ්‍යය. ඒ ක්‍රීඩාව, ක්‍රීඩකයින්, අප සහ රට වෙනුවෙනි..

 

 

Advertiesment